
රත්නපුර පොලිස් සිර මැදිරියෙන් පලා ගොස් දින 12ක් පුරා සැඟවී සිටි, පාතාල අපරාධකරුවෙකු වන උපසංක පිටදෙණිය නැමැත්තා, ගොඩිගමුව ප්‍රදේශයේ කැලෑවක කඳු මුදුනක සිටියදී අත්අඩංගුවට ගැනීමට රත්නපුර පොලීසිය පසුගිය 11 වන සඳුදා සමත් විය.
පාණදුර ප්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාතන දෙකකට සම්බන්ධ බව කියන මෙම සැකකරු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන, රත්නපුර අධිකරණයෙන් නිකුත් කර තිබූ වරෙන්තුවකට අදාළව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පසුගිය ජූලි 29 වන දා රත්නපුර පොලීසියට භාර දී තිබිණි.
පසුගිය ජූලි 30 වන දා උදෑසන, සිර මැදිරියේ සිටි සෙසු සැකකරුවන් වැසිකිළියට රැගෙන යන අවස්ථාවේදී, රාජකාරියේ නිරත නිලධාරියාට සිර මැදිරියේ දොර නැවත අගුලු දැමීමට අමතක වීමෙන් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මෙම සැකකරු, සෙසු සැකකරුවෙකුට ගෙනා තිබූ කමිසයක්ද ඇඳගෙන, පොලිස් ස්ථානයෙන් පිටතට පලා ගොස් තිබුණි. මෙම පලායාම සම්බන්ධයෙන් මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ සහ සැරයන්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමටද පියවර ගැනිණි.
පලායාමෙන් පසු ත්‍රිරෝද රථයකින් අංගම්මන ප්‍රදේශයට ගොස් ඇති සැකකරු, පොලීසිය එම ප්‍රදේශයේ මෙහෙයුම් දියත් කරන විට කළු ගඟට පැන ගොඩිගමුව ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයකට රිංගාගෙන ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.
රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක්, දැඩි පරිශ්‍රමයක් දරා සැකකරු සැඟවී සිටි කඳු මුදුන වටලා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval